Home News 9/11 ප්‍රහාරය කියන්නේ ඇමරිකානු ආධිපත්‍යයේ සංකේතීය බිඳවැටීමේ ආරම්භයයි – දීප්ති කුමාර ගුණරත්න
News

9/11 ප්‍රහාරය කියන්නේ ඇමරිකානු ආධිපත්‍යයේ සංකේතීය බිඳවැටීමේ ආරම්භයයි – දීප්ති කුමාර ගුණරත්න

Share
Share

2001 සැප්තැම්බර් 11 වනදා ඇමරිකාවේ නිවුන් කුලුනු ඉලක්ක කර එල්ල වූ 9/11 ත්‍රස්ත ප්‍රහාරය යනු හුදු භෞතික ප්‍රහාරයක් නොව, ඇමරිකානු ගෝලීය වෙළඳ හා සංකේතීය ආධිපත්‍යයේ (Symbolic Power) බිඳවැටීම සනිටුහන් කළ තීරණාත්මක ආරම්භක ලක්ෂ්‍යය බව ප්‍රවීණ මාධ්‍යවේදී නාරද බක්මීවැව මෙහෙයවන ‘IF’ (Ideas Front) යූටියුබ් නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සමබිම පක්ෂයේ නායක සහ දේශපාලන විචාරක දීප්ති කුමාර ගුණරත්න ප්‍රකාශ කළේය.

ප්‍රංශ දාර්ශනික ෂෝන් බෝද්‍රියාර් (Jean Baudrillard) ඇතුළු චින්තකයන්ගේ විශ්ලේෂණයන් උපුටා දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, ලෝකය පුරා මිනිසුන් කැමැත්තෙන්ම වැළඳගත් ඇමරිකානු නිදහස් සිහිනය සහ සංස්කෘතික ආධිපත්‍යය මූල්‍යමය වශයෙන් සංකේතවත් කළ ලෝක වෙළඳ මධ්‍යස්ථානය විනාශ කිරීම හරහා එම ආධිපත්‍යයේ අවසානය සනිටුහන් වූ බවයි. මෙම ඓතිහාසික සිදුවීමෙන් පසුගිය වසර ගණනාව පුරා ලෝක දේශපාලනය තුළ සිදුවූ පරිවර්තනයන් දෙස ආපසු හැරී බැලීමේදී, අද ලෝකය මුහුණ දෙන අර්බුදවල මූලාරම්භය 9/11 තුළ පැවති බව වටහාගත හැකි බව ඔහු අවධාරණය කළේය.

ඇෆ්ගනිස්ථානය, ඉරාකය ඇතුළු මුළුමහත් මැදපෙරදිග කලාපයම අස්ථාවරත්වයට ඇද දමමින් වර්ධනය වූ මෙම ක්‍රියාවලිය, ඇමරිකානු බුද්ධි අංශ විසින් ආරම්භ කළ මතවාදී මෙහෙයුමක විනාශකාරී ප්‍රතිඵලයක් බව මෙහිදී සාකච්ඡා විය.

තලේබාන් නායක මුල්ලා ඕමාර්ගේ දේශපාලනය ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය ආශ්‍රිත ප්‍රාදේශීය සීමාවකට සීමා වූවක් වුවද, ඔසාමා බින් ලාඩන් ගෙන ආවේ ගෝලීය මට්ටමේ ‘පෑන්-ඉස්ලාමීය’ (Pan-Islamism) දැක්මක් බව දීප්ති කුමාර ගුණරත්න විග්‍රහ කළේය. ඉහළ අධ්‍යාපනයක් ලත් කෝටිපති පවුලක පසුබිමක් සහිත බින් ලාඩන්ගේ අරමුණ වූයේ ලෝක ධනවාදය සහ මූල්‍ය ආධිපත්‍යය මෙහෙයවන ප්‍රධාන නගර වන නිව්යෝර්ක්, ලන්ඩන් සහ පැරිස් වැනි කේන්ද්‍රස්ථාන ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමයි.

මෙම ප්‍රහාර හුදු ප්‍රචණ්ඩත්වය පෙන්වීමක් නොව, ගෝලීය වෙළඳපොළකරණයට සහ බටහිර ධනේශ්වර ආධිපත්‍යයට එරෙහිව රැඩිකල් ඉස්ලාමය සන්නද්ධ ප්‍රතිරෝධයක් ලෙස ඉදිරිපත් කිරීමේ සවිඥානික උත්සාහයක් බව ඔහු පෙන්වා දුන්නේය.

නූතන වෙළඳපොළ ආර්ථිකය හමුවේ බුද්ධාගම හෝ ක්‍රිස්තියානි ධර්මය වැනි සම්ප්‍රදායික ආගම් ධනවාදය විවේචනය කරන විමුක්ති මාර්ගයක් ලෙස ක්‍රියාත්මක නොවී, වෙළඳපොළ විසින්ම අවශෝෂණය කරගත් ‘අනන්‍යතා ස්ටිකරයක්’ බවට පත්ව ඇති ආකාරය දීප්ති කුමාර ගුණරත්න මෙහිදී සැසඳීය. විශේෂයෙන් ලංකාව වැනි රටවල පන්සල හෝ ආගමික සංස්ථාපිතය වෙළඳපොළ ක්‍රමයේ සාරධර්ම හා පාරිභෝගිකවාදය විසින් ගිලගෙන ඇති පසුබිමක, ධනවාදයට එරෙහි සැබෑ ප්‍රතිරෝධයක් මතු කිරීමට ඒවා අසමත් වී ඇත.

එහෙත් අල්කයිඩා වැනි සංවිධාන හරහා මතු වූ රැඩිකල් ඉස්ලාමය, ධනවාදයේ සදාචාරාත්මක පරිහානියට හා වෙළඳපොළ ආක්‍රමණයට එරෙහි ප්‍රබල විකල්ප ප්‍රතිරෝධයක් සහ දේශපාලන හරයක් සහිත දෘෂ්ටිවාදයක් ලෙස පෙනී සිටි බවත්, ලිබරල් බුද්ධිමතුන් එය හුදු ආගමික අන්ධභක්තියක් හෝ මූලධර්මවාදයක් ලෙස පමණක් ලඝුකොට සැලකීම නිසා එහි සැබෑ දේශපාලන බලපෑම වටහා ගැනීමට අපොහොසත් වූ බවත් ඔහු පැහැදිලි කළේය.

9/11 ප්‍රහාරයෙන් පසුව ගෙවී ගිය කාලය තුළ 1970 ගණන්වල සිට පැවති ඩොලර් සහ පෙට්‍රෝ-ඩොලර් (Petrodollar) මත පදනම් වූ ගෝලීය මූල්‍ය ආධිපත්‍යය දැවැන්ත පරිවර්තනයකට ලක්ව ඇති බව දීප්ති කුමාර ගුණරත්න අවසාන වශයෙන් පෙන්වා දුන්නේය. ඇෆ්ගනිස්ථාන හා ඉරාක ආක්‍රමණවල සිට වත්මන් යුක්‍රේන යුද්ධය, මැදපෙරදිග අර්බුදය මෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි නායකයන් හරහා මතු වූ දක්ෂිණාංශික ජනප්‍රියවාදය (Populism) සහ සමාජ ධ්‍රැවීකරණය දක්වා සියලු ප්‍රවණතා එකිනෙකට සම්බන්ධ වී තිබේ.

9/11 ප්‍රහාරයත් සමඟ ආරම්භ වූ මෙම සංකීර්ණ ගෝලීය ප්‍රතිව්‍යුහගතවීම හරහා ඇමරිකානු ඒකධ්‍රැවීය ලෝක ආධිපත්‍යය බිඳවැටී නව ලෝක රටාවක් බිහිවෙමින් පවතින බවත්, ඩොලරය මත යැපෙන ලංකාව වැනි රටවලටද මෙම පරිවර්තනයන්ගේ බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

theleader.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

70 වසරක නොලබපු ජයක් වමට දිනා දුන් රාජාංගනේ හිමිට දීප්තිගෙන් ප්‍රණාමය

1956 වසරේ සිට වාමාංශික කඳවුරෙන් ගිලිහී ගිය ‘ජාතිය සහ ආගම’ පිළිබඳ දෘෂ්ටිවාදාත්මක...

News

ආර්ථිකයද? චීවරයද? පොදු සමාවක්ද?

දේශපාලන බලය ලබාගැනීම සහ පවත්වාගෙන යාම සඳහා මෙරට පාලකයන් විසින් ආගම සහ...

News

දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ

සැබෑ ආණ්ඩු වෙනසක් යනු හොරකම් නැවැත්වීමට පමණක් සීමා නොවී, පොදු ජනතාවගේ දෛනික...

News

සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)

වර්තමාන ඩිජිටල් යුගය තුළ ජාතික අනන්‍යතාව, ආගම සහ දේශපාලන මතවාද යනු කිසිදු...