Home News වීරයන් බිහිවන අලුත් ක්‍රමය ? Gen Z සහ Alpha වෙත.. | දීප්ති කුමාරගේ TV සුප්‍රීම් විශේෂ හෙළිදරව්ව
News

වීරයන් බිහිවන අලුත් ක්‍රමය ? Gen Z සහ Alpha වෙත.. | දීප්ති කුමාරගේ TV සුප්‍රීම් විශේෂ හෙළිදරව්ව

Share
Share

පසුගිය යුගවල සමාජය තුළ ස්ථාපිත වූ සාම්ප්‍රදායික ‘වීරත්වයේ’ නිර්ණායක වර්තමානය වන විට මුළුමනින්ම පරිවර්තනයකට ලක්ව ඇති බවත්, Gen Z සහ Alpha පරම්පරාවන් ඉදිරියේ දිගහැරෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් සමාජ-දේශපාලන ගතිකත්වයක් බවත් දේශපාලන හා සංස්කෘතික විචාරක දීප්ති කුමාර ගුණරත්න පෙන්වා දෙයි.

ඔහු මේ බව සඳහන් කළේ ‘ගරාජ් ප්‍රඩක්ෂන් හවුස්’ නිෂ්පාදනයක් ලෙස TV සුප්‍රීම් නාලිකාව ඔස්සේ විකාශය වන ‘Ideas front – ස්මාර්ට් කැෂුවල්’ (Smart Casual) වැඩසටහනට එක්වෙමිනි. ප්‍රවීණ මාධ්‍යවේදී නාරද බක්මීවැව සමඟ පැවති මෙම සාකච්ඡාවේදී, ශ්‍රී ලාංකේය ඉතිහාසයේ විවිධ යුගයන්හි වීරයන් සහ නායකයන් බිහිවූ ආකාරයත්, ඉදිරි සමාජය තුළ බලපෑම් සහගත චරිත හැඩගැසෙන ආකාරයත් විමසුමට ලක්විය.

අතීතයේ සමාජ වීරයන් හෝ නායකයන් බිහිවූයේ යම් නිශ්චිත මතවාදයක්, ජන කණ්ඩායමක අරමුණක් සහ පොදු අරගලයක් වෙනුවෙන් පෙනී සිටි සාමූහික ක්‍රියාකාරීත්වයක් හරහා බව දීප්ති කුමාර ගුණරත්න මෙහිදී පැහැදිලි කළේය. යටත්විජිත සමයේ සූර සරදියෙල්ගේ භූමිකාවේ සිට පශ්චාත්-නිදහස් ලංකාවේ බිහිවූ රෝහණ විජේවීර හෝ වේළුපිල්ලේ පිරබාහරන් වැනි චරිත දක්වා සෑම අයෙකුම තම කණ්ඩායමේ හෝ අරමුණෙහි පැවැත්ම උදෙසා අවසන් මොහොත දක්වා සටන් කළ නායකයන් ලෙස ඉතිහාසගත වූ බව ඔහු පෙන්වා දුන්නේය.

එහෙත්, වර්තමාන හා අනාගත ලෝකය තුළ එවැනි පූර්ණ දෘෂ්ටිවාදාත්මක නායකත්වයන් වෙනුවට සමාජ මාධ්‍ය, වෙළඳපොළ තර්කනය සහ ක්ෂණික ප්‍රචාරණ යාන්ත්‍රණයන් හරහා තාවකාලික ‘ප්‍රතිරූප’ නිර්මාණය වීමේ වෙනස්ම සංස්කෘතියක් මෝදු වෙමින් පවතින බව ඔහු අවධාරණය කළේය.

මෑතකාලීන දේශපාලන ඉතිහාසය නිදසුනක් ලෙස ගෙනහැර දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, ඇතැම් අවස්ථාවල ත්‍රස්තවාදය පරාජය කිරීම වැනි සුවිශේෂී ජයග්‍රහණ අත්පත් කරගැනීමෙන් අනතුරුව පවා, පාලනය තුළ මතුවන දූෂණ හා වංචා හමුවේ එකී වීර ප්‍රතිරූප සමාජය විසින්ම ප්‍රශ්න කර ප්‍රතික්ෂේප කළ ආකාරයයි.

සමාජය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන මෙවැනි සෘණාත්මක හැසිරීම් පවා උපහාසයට (Joke/Meme Culture) ලක් කරමින් එයින්ම තෘප්තියක් ලබන අමුතු සමාජ මනෝභාවයක් වර්තමානයේ වර්ධනය වී ඇති බවත්, මතුපිටින් සුන්දරව පෙනුනද එය සමස්ත සමාජ ව්‍යුහයම ගිලගන්නා ‘පිළිලයක්’ වැනි භයානක තත්ත්වයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඉදිරියේදී මතුවන ගැටලු ජාතිය හෝ ආගම පිළිබඳ සාම්ප්‍රදායික බෙදීම් මත පමණක් රඳා නොපවතින බවත්, ආර්ථික, තාක්ෂණික හා නව සංස්කෘතික පරිවර්තනයන් මුල් කරගත් බරපතළ ප්‍රශ්නාවලියකට මුහුණ දීමට නව පරම්පරාවට සිදුවන බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

නව පරම්පරාවන් සමාජය මෙහෙයවන ප්‍රධාන බලවේගය බවට පත්වීමට පෙර, අතීත දේශපාලන අත්දැකීම් සහ ව්‍යුහාත්මක වැරදීම් නිවැරදිව කියවා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් දීප්ති කුමාර ගුණරත්න, සමාජයක අවශ්‍යතාව මත පුද්ගලයන්ගේ භූමිකාව තීරණය වන ආකාරය ගැඹුරින් වටහා ගත යුතු බව අවසාන වශයෙන් පෙන්වා දුන්නේය.

සමස්ත වැඩසටහන මතු පලවන විඩියෝවෙන් නරඹන්න

Ideas Front පුවත් හා විශේෂාංග: Ideasfront.lk නිල වෙබ් අඩවිය

Ideas front වෙනුවෙන් ‘ගරාජ් ප්‍රඩක්ෂන් හවුස්’ විසින් නිෂ්පාදනය කරන ‘ස්මාර්ට් කැෂුවල්’ රුපවාහිනී වැඩසටහන සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 9.30 ට TV සුප්‍රීම් රුපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන අතර ඊට සමගාමිව ඩයලොග් TV (12 ) හා පියෝ TV (122) නාලිකා ඔස්සේ විකාශය වේ.

theleader.lk

Share

Leave a comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Articles
News

70 වසරක නොලබපු ජයක් වමට දිනා දුන් රාජාංගනේ හිමිට දීප්තිගෙන් ප්‍රණාමය

1956 වසරේ සිට වාමාංශික කඳවුරෙන් ගිලිහී ගිය ‘ජාතිය සහ ආගම’ පිළිබඳ දෘෂ්ටිවාදාත්මක...

News

ආර්ථිකයද? චීවරයද? පොදු සමාවක්ද?

දේශපාලන බලය ලබාගැනීම සහ පවත්වාගෙන යාම සඳහා මෙරට පාලකයන් විසින් ආගම සහ...

News

දීප්ති කුමාර: හොරකම් නොකළ පමණින් ආණ්ඩුවක් අලුත් වෙන්නේ නැහැ

සැබෑ ආණ්ඩු වෙනසක් යනු හොරකම් නැවැත්වීමට පමණක් සීමා නොවී, පොදු ජනතාවගේ දෛනික...

News

සයිබර් ජාතිකවාදය: ඇල්ගොරිතම වෙළඳපොළට හසු වූ අධි-ප්‍රබන්ධ දේශපාලනය (දීප්තිගේ වීඩියෝවක්)

වර්තමාන ඩිජිටල් යුගය තුළ ජාතික අනන්‍යතාව, ආගම සහ දේශපාලන මතවාද යනු කිසිදු...