වීරයන් පස්සේ ගොස් අර්බුදයට නොවැටී ස්වයං විවේචනයකට එළඹීමේ වැදගත්කම ගැන සංවාදයක්
හෝමර්ගේ වීර කාව්‍යය සහ නූතන සමාජ මනෝභාවය පිළිබඳ ගැඹුරු විග්‍රහයක්
හෝමර්ගේ පුරාණ ග්‍රීක වීර කාව්‍යය පසුබිම් කරගනිමින් නිර්මාණය වූ ‘ද ඔඩිසි’ (The Odyssey) සිනමාපටයේ යටිපෙළ දාර්ශනික හා මනෝවිශ්ලේෂණාත්මක කියවීමකට ලක්කරමින්, නූතන දේශපාලන හා සමාජීය යථාර්ථය පිළිබඳ විග්‍රහයක් පසුගියදා එළිදැක්විණි.
TV සුප්‍රීම් නාලිකාවේ විකාශය වූ Ideas front ‘ස්මාර්ට් කැෂුවල්’ වැඩසටහනට එක්වෙමින් ප්‍රකට දේශපාලන විචාරක දීප්ති කුමාර ගුණරත්න මෙම අදහස් පළ කළේය. ප්‍රවීණ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසින් මෙහෙයවනු ලැබූ මෙම වැඩසටහන ‘ගරාජ් ප්‍රඩක්ෂන් හවුස්’ නිෂ්පාදනයකි.
සිනමාපටයේ තාක්ෂණික හා දෘශ්‍ය ප්‍රයෝග (IMAX තාක්ෂණය ආදී) පිළිබඳ පමණක් අවධානය යොමුකිරීමෙන් ඔබ්බට යමින්, එහි අන්තර්ගත දාර්ශනික ප්‍රවේශය සහ මානව මනෝභාවයන්ගේ ක්‍රියාකාරිත්වය මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානයට ලක්විය.
වීරත්වයේ පරමාදර්ශය සහ ස්වයං ප්‍රතිරූපයේ සීමා
සාම්ප්‍රදායික හේගලියානු දයලෙක්තිකයේ (Thesis, Antithesis, Synthesis) ත්‍රිත්වය වෙනුවට දාර්ශනික ස්ලාවෝයි ජිජැක් (Slavoj Žižek) ඉදිරිපත් කරන සිව්පියවර චලනය ඔස්සේ ප්‍රධාන චරිතය වන ඔඩිසියස්ගේ චර්යාව මෙහිදී විග්රහයට ගැනිණි.
ට්‍රෝජන් යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු තමන් අතිශය පරිපූර්ණ බුද්ධිමතෙකු සහ වීරයෙකු ලෙස දකිමින් ඔඩිසියස් සිය ගමන අරඹන ආකාරය පෙන්වා දෙන දීප්ති කුමාර ගුණරත්න, එය ලංකාවේ 2009 යුද ජයග්රහණයෙන් පසු යුද නායකත්වයන් කෙරෙහි ගොඩනැඟුණු පරමාදර්ශී ප්‍රතිරූපයට සමාන කළ හැකි බව සඳහන් කළේය.
බාහිර බාධා යනු අභ්‍යන්තර ගැටලුවලම ප්රක්ෂේපණයක්ද?
ඔඩිසියස්ගේ ගමන්මඟේදී හමුවන කුණාටු, රාක්ෂයන් (එකැස් යෝධයා) සහ දූපත් වැනි බාහිර බාධාවන් පිටතින් එන සැබෑ සතුරන් නොව, ඔහුගේම අභ්‍යන්තරික මනෝභාවයන් සහ ආත්ම මූලිකත්වයේ ප්‍රක්ෂේපණයන් බව අධ්යක්ෂවරයා සංකේතවත් කරන බව වැඩසටහනේදී අවධාරණය කෙරිණි.
නූතන ලිබරල් ප්රජාතන්ත්රවාදී පද්ධතීන් තුළ පැනනගින ආර්ථික හා සමාජීය අර්බුද පිටතින් එන බාධාවන්ට වඩා පද්ධතියේම අභ්‍යන්තර ප්රතිවිරෝධතාවල ඵලයක් වන අයුරින්ම, පුද්ගලයාගේ සැබෑ අභියෝගය පවතින්නේ තමන් තුළම බව මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම සෛරන්වරුන්ගේ (Sirens) හඬ ඔස්සේ නිරූපණය වන ‘අසීමාන්තක කාමුකත්වය සහ විනෝදය’ පිළිබඳ ෆැන්ටසිය මෙන්ම, පශ්චාත් නූතන පීතෘමූලික සමාජයක පිරිමින්ගේ සිනිකල් (Cynical) චර්යාවන් පිළිබඳවද දාර්ශනික විවරණයක් ඉදිරිපත් කෙරිණි.
‘ගැලවුම්කාර’ දේශපාලනය සහ ස්වයං විවේචනයේ අවශ්‍යතාව
සමාජයක පවතින ගැඹුරු අභ්‍යන්තර ගැටලු ස්වයං විවේචනාත්මකව විසඳා ගැනීමට උත්සාහ නොකර, බාහිරින් පැමිණෙන “අධි-ක්‍රියාකාරී ගැලවුම්කරුවන්” මත විශ්වාසය තැබීමට යාමෙන් සමාජය නැවත නැවතත් අර්බුදයකට ඇදවැටෙන බව දීප්ති කුමාර ගුණරත්න මෙහිදී ප්‍රකාශ කළේය.
නූතන පරම්පරාව පවුල් ආයතනයෙන් ඈත්වීම සහ සාම්ප්‍රදායික වගකීම් පෞද්ගලික විනෝදයට බාධාවක් ලෙස සැලකීමේ සමාජ ප්‍රවණතාවද සාකච්ඡාවට බඳුන් විය.
ඔඩිසියස් සිය ගමනාන්තය වන ඉතකාවට ළඟාවීමෙන් පසු අවබෝධ කරගන්නේ තමන් පුත්‍රයාට උරුම කර දී ඇත්තේ පරිපූර්ණ පරමාදර්ශයක් නොව අවිනිශ්චිත අරාජකත්වයක් බවයි. ඒ අනුව, තමන්ගේම වේදනාව (Suffering) රසවිඳින නිෂ්ක්‍රීය තත්ත්වයෙන් මිදී, අන්‍යයන් මත වරද පැටවීම වෙනුවට සමාජයක් ලෙස අවංක ස්වයං විවේචනයකට (Self-criticism) එළඹීමේ වැදගත්කම අවසාන වශයෙන් මෙහිදී අවධාරණය කෙරිණි.
”ගරාජ් ප්‍රඩක්ෂන් හවුස් ” විසින් නිෂ්පාදනය කරන ‘ස්මාර්ට් කැෂුවල්’ රුපවාහිනී වැඩසටහන සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 9.30 ට TV සුප්‍රීම් රුපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන අතර ඊට සමගාමිව ඩයලොග් TV ( 12 ) හා පියෝ TV ( 122) නාලිකා ඔස්සේ විකාශය වේ.
Leave a comment