හිටපු ජ.වි.පෙ.ප්‍රධාන ලේකම්වරයෙකු, අමාත්‍යවරයෙකු, මන්ත්‍රීවරයෙකු, නගර සභා සභාපතිවරයෙකු වූ සහ ජා.නි.පෙ.හිටපු ලේකම්වරයාද වූ නන්දන ගුණතිලක සහෝදරයා වයස අවුරුදු 61 දී සිය දිවි ගමන නිමා කරනවා.
නන්දනගේ දේශපාලන මතය හෝ ඔහුගේ අදහස් හෝ පක්ෂයක් ලෙස අපි පිළිගන්නේ නැහැ. විශේෂයෙන්ම ජ.වි.පෙ. පංතිමය දේශපාලනයෙන් ඉවත් කොට ජාතිය වටා සංවිධානය කිරීම ආරම්භ කල එක් ප්‍රධාන නායකයෙකු වන්නේ නන්දන යි. 2005 දී ජ.වි.පෙ.න් ඉවත් වී විමල් වීරවංශ විසින් බිහිකරන ලද අන්ත ජාතිවාදී ජා.නි.පෙ. ලේකම්වරයා වෙමින් ඔහු ඒ තුළ තවත් ගිලී ගියා. කෙසේ නමුත් අවසානයේදී විමල් හා ඇතිවූ ගැටලු හරහා සෙනෙවි හා නන්දන යන දෙදෙනාම ජා.නි.පෙ.න්ද ඉවත් වුනා.
සුදු හෝ කලු යනුවෙන් චරිත වෙන් කිරීම අපේ දේශපාලනය තුළ අපි කරන්නේ නැහැ. අපි මෙන්ම අනෙකාද අලුපාට බව අපි දන්නවා. එක් පාර්ශවයකට නන්දන සුදෝ සුදට පෙනීමේදී අනිත් පාර්ශවයකට ඔහු කලු චරිතයක්.
අලුපාට නන්දන තුළ තිබූ විශිෂ්ඨත්වයනම් අතිශයින්ම අසීරු අවස්ථාවලදී පක්ෂය වෙනුවෙන් පෙනී සිටීමට ඔහු තුළ තිබූ ධෛර්‍යය හා කැපවීමයි. ඊට අවශ්‍ය ගෞරවය ලබාගත හැකි හා ලැබෙන යුගය අවසන් බව නන්දන වටහා ගත්තේ නැහැ. තවදුරටත් 80 හෝ 90 දශකයේ දේශපාලනයට වලංගුබාවයක් මේ පොලොවේ නැහැ. මේ යුගයේදී දේශපාලනය තිරයක් මතට ප්‍රක්ෂේපණය වූ යුගයක්. යථාර්තය යනුවෙන් අපි සංජානනය කරගන්නා දෙය මාධ්‍ය මත මැවුනු වේශ නිරූපණයක් බව නන්දනට අවබෝධයක් තිබුනේ නැහැ. ඔහු විමල්ගෙන් වෙනස් වන්නේ එතනින්.
විශ්වාස කල අරමුණක් වෙනුවෙන් සිය තරුණ ජීවිතය කැප කිරීම ලේසි නැහැ. ලෙයින් හා යකඩයෙන් පැමිණි මර්ධනය හමුවේත් ඊට බිලි නොවී සිටීම තවත් අසීරුයි. සිය විශ්වාසයන් පලුඳු වූ පසු ඒ ව්‍යාපාරයේ රැඳී නොසිට ඉවත් වී යාමද හොද තීරණයක්.
“වැඩ” ඇතුලේ ඇතිවූ සම්බන්ධකම් මිස ජ.වි.පෙ. දේශපාලනය තුළ මිත්‍රත්වය වැනි බැදීම් නොමැති බවට මේ මරණය හොඳ උදාහරණයක්. යාන්ත්‍රික මිනිසුන් බිහිකලා මිස තෙතමනයක් සහිත මනුෂ්‍යයින් බිහි කිරීමට නන්දනත්,.නන්දන වැඩ කල ව්‍යාපාරත් අසමත්.
විප්ලවය, තමන්ගෙන් බාහිරට ප්‍රක්ෂේපනය කර ඊට එරෙහිව සටන් කල පරම්පරාවක අවසාන පුරුක් මේ ආකාරයෙන් වියැකෙනවා. කුමන ප්‍රතිරෝධතා තිබුනත් අපි ඔහු විශ්වාස කල ආගමකට අනුව ඔහුට අපි සුබ ගමනක් ප්‍රාර්ථනා කරනවා….!
දේශපාලනය යනු ප්‍රේම කිරීම පිළිබඳ අලුත් තිසීස හදුන්වා දීමක්. මනුෂ්‍යත්වය යනු දේශපාලනයට පෙර තබාගත යුතු සිල් පදයක්.
Leave a comment